ප්‍රකාශයක් දෙන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා අද CID එකට එයි

තරුණයින් 11 දෙනෙකු පැහරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න
මහතාට අද(10) දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙටිටිආරච්චි හට අධිකරණය මගහැර සිටිමට රවින්ද්‍ර විජේගුණරත්න මහතා උදව් උපකාර කර ඇති බවට පැහැදිලි සාක්ෂි පවතින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය හිටපු නාවික හමුදාපතිවරයා සැකකරුට කුමන හෝ ආකාරයකින් ආධාර අනුබල ලබාදි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

Previous Post Next Post