"මේක වැඩබැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්" -ප්‍රසන්න

පුවත්පතින් රටේ තොරතුරු දැනගන්නා ජනාධිපතිවරයාත් රටේ අංක එකේ විහිලුකරුවකු වී සිටින අගමැතිවරයාත් ඇතුළු වැඩ බැරි ආණ්ඩුව දිනෙන් දින රට ඇදගෙන යමින් සිටින්නේ දරුණු අගාධයකට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුවේ කිසිවකුට රට ගොඩනැගීමේ සැබෑ උවමනාවක්
නොමැති බව පැවසූ රණතුංග මහතා තවදුරටත් රට විනාශ නොකර නිවැරැදි නායකත්වයකට රට භාර දීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් අපේ රට යළිත් කිසිදිනෙක ගොඩගත නොහැකි අර්බුදයකට යනු ඇති බවත් පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ කැම්සෝ ලෝඩ් ස්ටාර් විසින් පුරන් කුඹුරු අක්කර 30ක් අස්වැද්දීමේ උත්සවයට පසුගිය දා එක්වෙමිනි. කැම්සෝ ලෝඩ් ස්ටාර් සමාගම විසින් ක්‍රියාවට නංවා ඇති ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් අංගයක් ලෙස වස විස නැති ගොවිතැන ආරම්භ කිරීමේ කටයුතු ක්‍රියාවට නංවා ඇත.
රසායනික පොහොරින් තොර වස විස නැති ආහාර ප්‍රදේශයේ ජනතාවට සහන මිලට ලබාදීම අරමුණු කොට ගෙන ආරම්භ කරන ලද මෙම ආදර්ශ ගොවිපළේ ප්‍රථම අදියර යටතේ වී සහ එළවළු වගා කිරීමට නියමිත අතර එම ආහර ද්‍රව්‍ය සහන මිලකට ප්‍රදේශයේ ජනතාව අතර පත් කිරීමට ද සැලසුම් කර ඇත. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

"පෞද්ගලික ආයතනයක් වුවත් ලෝඩ් ස්ටාර් අයතනය සිය සමාජ වගකීම නිසි ආකාරයෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මම සතුටු වෙනවා.
අද රටේ උද්ගත වෙලා තියෙන වාතාවරණයත් එක්ක බලන කොට මේ වගේ ව්‍යාපෘති පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් හෝ ක්‍රියාත්මක කිරීම අපි අගය කළ යුතුයි. ලෝකයේ දියුණුවත් සමඟ අපේ ජනතාවට වැඩිපුරම ආහාරයට ගන්න වෙලා තියෙන්නේ වස විස අඩංගු ආහාර ද්‍රව්‍යයි. රසායනික පොහොර භාවිතයෙන් වගා කෙරෙන ආහාර වගේම ජාන තාක්ෂණයෙන් වැඩි අස්වැන්නක් ලබාදෙන ආහාරත් නොදැනුවත්වම අපිව ආක්‍රමණය කරලා ඉවරයි".

"ආණ්ඩුව මේවා ගැන කිසිම සැලකිල්ලක් නැහැ. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ තව කීයක් හරි බදු ගහලා ජනතාව හූරා කන්න විතරයි. ව‍ර්තමාන ආණ්ඩුව කෘෂිකර්මය ගැන දක්වන්නේ ඇල්මැරුණු ප්‍රතිපත්තියක්.අද අපේ රටේ ආර්ථිකය දරුණු ව්‍යසනයකට මුහුණපාලා තිබෙනවා. සති තුනක කාලයක් ඇතුළත ඩොලරයේ අගය රුපියල් 7කින් පමණ ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 දී මේ අයට ආණ්ඩුව භාර දෙන කොට ඩොලරය තිබුණේ රුපියල් 130කට විතර. දැන් ඒක රුපියල් 170ක් දක්වා ඉහළ ගිහින්".

"ආණ්ඩුවට ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් කිසිම සැලැස්මක් නැතිකම තමයි මේ අර්බුදයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. බලයට පත්වෙලා මාස තුනකින් මහ බැංකුව සුද්ධ කරපු ඒ මහා මංකොල්ලයත් සමඟ ආරම්භ වූ මේ අර්බුදය තවත් ඔඩුදුවලා තියෙන්නේ වර්තමාන මුදල් ඇමැතිවරයාගේ නොහැකියාව නිසයි. මංගල සමරවීර ඇමැතිවරයා දන්නේ මඩ ගහන්නයි චරිත ඝාතනය කරන්නයි විතරයි. එතුමට ආර්ථික සම්බන්ධයෙන් කිසිම දැනුමක් නැහැ. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් මුදල් ඇමැති වෙලා ඉන්න කොට මීට වඩා දෙයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ආර්ථිකය විනාශ වීමේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් බාරගත යුතුයි".

"ආර්ථිකයේ බිඳවැටීමත් සමඟ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා මිල දිනෙන් දින ඉහළ ගියත් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග ඉහළ ගිහින් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් කාණ්ඩ අතරින් තෙවැනි කාණ්ඩයට වැටිලා තියෙනවා. අද අපේ ජීවන වියදම නිව්යෝර්ක්, ටෝකියෝ වගේ නගරවල සමාන තත්ත්වයකට ඇවිත්.හම්බ කරන දේ ජීවත් වෙන්න මදි වුණාම මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ එක්කෝ හොරකම් කරන්න. එහෙමත් නැත්නම් ආත්ම ගෞරවයට රැකගෙන දිවි නහ ගන්න. මිනිස්සු කන්න නැතුව දුම්රියට පනින තත්ත්වය ඇවිත් තියෙන කොට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොරු සෝබන වැඩ සඳහා ජනතාවගේ මුදල් රුපියල් කෝටි ගණන් නාස්ති කරනවා".

"එන්ටර්ප්‍රයිස් කිය කියා කිසිදු ප්‍රයෝජනයක් නැති ප්‍රදර්ශනවලට කෝටි ගණන් මුදල් වැය කරන්න ආණ්ඩුවට පුළුවන්. හැබැයි දුප්පත් මිනිහට සහනයක් දෙන්න මුදල් නැහැ. පඩි වැඩි කරන්න කියලා වෘත්තීය සමිති ඉල්ලුවාම මංගල සමරවීර කැබිනට් මණ්ඩලයේ දී හැසිරෙන්නේ වෙඩි කාපු ඌරෙක් වගෙයි.හැබැයි ඒ මංගලම එන්ටර්ප්‍රයිස් කියන නාඩගමට රුපියල් මිලියන 80,000ක් වියදම් කරන්නේ ගෙදරින් ගෙනාපු බූදලයක් වගෙයි. ආණ්ඩුවේ අසාර්ථකත්වය දිනෙන් දින ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට රට පාලනය කරන්න බැහැ කියන කාරණය දැන් ඔප්පු වෙලා ඉවරයි. මේක වැඩබැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්".

"මේ රට ආපහු වතාවක් නිවැරැදි මාර්ගයට ගන්න ඕනේ. ලෝකයේ ආහාර, ඛනිජ තෙල්, මූල්‍ය අර්බුද තිබියදී ඒ සියල්ල කළමනාකරණය කරමින් ත්‍රස්තවාදයත් පරාජය කරලා, රටත් සංවර්ධනය කරපු මහින්ද චින්තන වැඩපිළිවෙළ අධ්‍යනය කරන්න කියලා මම වර්තමාන ආණ්ඩුවට ආරාධනා කරනවා. දේශපාලන විරුද්ධවාදීන් හිරගෙවල්වලට කූඩු කිරීමේ මානසිකත්වයෙන් මිදිලා ලෝක ආර්ථික ප්‍රවණතා ගැන සැලකිල්ල යොමු කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. තමුන්නාන්සේලා මේ රට අරගෙන යන්නේ නැවත ගොඩගත නොහැකි දැවැන්ත ආගාධයකටයි".

"කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට මේ රට භාර දෙන්න. ඒක තමයි දැන් ගන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය. අද අපේ රට මුහුණපාලා තියෙන්නේ දරුණු ව්‍යසනයකට. ඒ ව්‍යසනයෙන් මිදෙන්න නම් නිවැරැදි නායකත්වයකට රට භාර දීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා සුදුසුම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව අතීතය දෙස බැලුවොත් පැහැදිලි වෙනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ රට හදලා පෙන්නූ නායකයෙක්. විනාශ වෙලා තිබ්බ රටක් ගොඩනැංවූ නායකයෙක්. අද ඉන්න පාංකඩ නායකයන් වගේ නෙමෙයි මහින්ද කියන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් ඉදිරියෙවත් දණ නොනැමූ නායකයෙක්. එවැනි නායකයකු නොමැතිව අපිට ඉදිරි ගමනක් නැහැ".

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස්, මිශ්‍රණ අංශ ප්‍රධානී සෙබස්තියන් ඩීමන්, මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ සරත් කුමාර, කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුජීව සම්පත් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


gossip lanka