ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදුකෙරෙන පරීක්‍ෂණවලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගනිමින්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කළ, පරීක්‍ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත, සිකුරාදා (12දා) පාර්ලිමේන්තුවේදී සම්මත නොකර වෙනත්
දිනයකට කල්දැමීම, ආණ්ඩුව සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවට ඒකාබද්ධ විපක්ෂය සැක පහළ කරයි.
මෙම පනත් සංශෝධනය මඟින්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විශේෂ ජනාධිපති කොමිෂන් සභා විමර්ශනයේදී හෙළිවූ කරුණු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සැලසෙන බැවින් එය ප්‍රමාද කිරීම සඳහා සංශෝධන පනත විවාද කිරීම ආණ්ඩුව විසින් හිතාමතාම මෙසේ කල්දැමූ බවට සැක පහළ වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
තමාගේ විෂය පථයට නොගැනෙන මෙම පනත ඉදිරිපත් කිරීම විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට කළ නොහැකි බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන චෝදනා කළ අවස්ථාවේ, ජනාධිපතිවරයාගේ නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයේ ඕනෑම ඇමැතිවරයකුට ඉදිරිපත් කළ හැකි බව රාජපක්ෂ ඇමැතිවරයා සඳහන් කෙළේය.
විපක්ෂයේ තර්කය වූයේ මේ සංශෝධන පනත අධිකරණ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු බවයි.එහෙත්, මේ අවස්ථාවේ අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සභා ගැබ තුළ සිට නැත.
මෙම පනත ඉදිරිපත් කර විවාදය ඉදිරි දිනකදී සිදු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.ජනාධිපති විමර්ශන කොමිෂන් සභා මඟින් සිදුකරන පරීක්‍ෂණයකදී ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමේදී පොලිසියට නැවත විමර්ශනයක් කිරීමට සිදුවන බැවින් එකම කරුණක් සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු නොකර මුල් විමර්ශනය පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මෙම පනත් සංශෝධනය මඟින් ඉඩ සැලසෙනු ඇත.
– mawbima
බැඳුම්කර හොරුන් හිරේ යවන පනතට එජාපයෙන් පොල්ලක්…
2018-10-13T17:08:00+05:30
Gossip Lanka Hot News
slide|