මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වන අතර ඒ අනුව පළාත් සභාවේ කටයුතු ආණ්ඩුකාර පාලනයකට යටත් වනු ඇත.

මේ වන විට පළාත් සභා 04ක නිල කාලය අවසන්ව ඇති අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වුණි.

මේ අතර  අනිද්දා දිනයේදී වයඹ පළාත් සභාවේත් මෙම මස 25 වනදා
උතුරු පළාත් සභාවේත් නිල කාලය අවසන් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ලබන වසරේ අප්‍රේල් 10 වනදා දකුණු පළාත් සභාවේත් 21 වනදා බස්නාහිර පළාත් සභාවේත් නිල කාලය අවසන් වන අතර ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ලබන වසරේ සැප්තැම්බර් මස 08 වනදායි.

කෙසේවෙතත් නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් රජය මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

පළාත් පාලන සීමා නීර්ණ කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර සීමා නීර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව බාරදීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සීමා නීර්ණ සමාලෝචන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර මෙම කමිටුව පසුගියදා පක්ෂ නායකයින්ගෙන් ද අදහස් සහ යෝජනා ලබා ගත්තේය.

gossip lanka