අලි රකින්න දෙපාර්තමේන්තු දෙකක් එක්ව මෙහෙයුමක

වන අලින් දුම්රියේ ගැටීමේ සිද්ධීන් නිරන්තයෙන් වාර්තා වීම හේතුවෙන් එය වලක්වා ගැනීම සඳහා වනජිවි දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව දුම්රිය මාර්ග හරහා වැටී ඇති අලිමංකඩ යළි සලකුණු කිරීමට
නියමිතයි.

මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද(10) රාත්‍රීයේ අදාළ ප්‍රදේශ වෙත පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දී තවත් වන අලියෙකු දුම්රියක ගැටී තිබේ.

ඊයේ(09) රාත්‍රී සිදුවූ මෙම අනතුරින් එම වන අලියා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙලෙස බරපතළ තුවාල ලැබූ වන අලියා වැටී සිටි වලෙන් ගොඩ ගෙන ප්‍රථිකාර කටයුතු ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

වනජීවි නිලධාරීන් පවසන්නේ මෙම වන අලියාගේ තත්ත්වය අසාධ්‍ය බවයි.

වැලිකන්ද සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී වන අලියා මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් මේ හේතුවෙන් දුම්රියට හෝ දුම්රිය මාර්ගයට හානියක් සිදුව නොමැති බව සඳහන්ය.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේද මීනගයා දුම්රියේ ගැටීමෙන් වන අලීන් තිදෙනෙකු මිය ගියේය.


gossip lanka