මගේ නම තියන සමරු ඵලක වහගෙන යනවා.. පුළුවන්නම් මොරගහකන්දත් පත්තර කොළවලින් වහන්න - හිටපු ජනපති

”මැතිවරණ කොමිසමේ නියෝගයකට අනුව මේ දවස්වල පොළොන්නරුවේ මගේ නම තිබෙන සමරු ඵලක වහගෙන යනවා. පුළුවන්නම් මොරගහකන්ද කළුගඟ ජලාශත් පත්තර කොළයක් දාලා වහන්න. පොළොන්නරුවේ වකුගඩු රෝහලත් ඉටිරෙද්දකින්වත් වහන්න. බෝඞ් ලෑලිවල තිබෙන මගේ නම වැහුවාට පොලොන්නරුව ජනතාවගේ හදවත්වල සටහන් වෙලා තිබෙන මෛත‍්‍රිපාල සිරිසේන නාමය කිසිවකුට වහන්න බැහැ යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


දිඹුලාගල බඳනාගල මහවැලියේ පැවැති ජනහමුවකදී ඔහු එසේ කීවේය. තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“මම අවුරුදු 52ක දේශපාලන අත්දැකීම් තිබෙන කෙනෙක්. අපේ ලැයිස්තුවේ ඉන්න කෙනෙක් මට අවලාද නගනවා. අවලාදවලින් මම සැලෙන්නේ නැහැ. පොලොන්නරුවේ ජනතාව ඔවුන්ගේ මුසා බස්වලට රැවටෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් විදිහට තිස්එක් වසරක් පුරාවට මම කළ වැඩ ගැන පොලොන්නරුවේ ජනතාවගේ හදවත්වල ගැඹුරින්ම සටහන් වෙලා ඉවරයි.

”මම මුලින්ම 1989 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනකොට ජීවිතය බේරා ගත්තේ හරිම අමාරුවෙන්. ඒ කාලේ මේ රටේ තුන්බියක් තිබුණා. කොටි සහ ජනතා විමුක්ති පෙරමුණේ අය මිනිස්සු නැති කරනවා මේ දෙපිරිස පාලනය කරන්න රජයත් මිනිස්සු නැති කරනවා. දැන් ඉන්න අවුරුදු හතළිස් පහක විතර අයට නම් ඒ කාලේ සිදුවීම් හොඳට මතක ඇති. ඕවා මැද මම පාර්ලිමේන්තුවට ගියා. විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් විදිහට මම ජනතා ප‍්‍රශ්න විසඳන්න එවකට පැවැති රජය සමග අරගල කළා. පොලොන්නරුවේ ගොවියා ණය ගෙවාගත නොහැකිව වහබීලා මැරෙනකොට ඔවුන් වෙනුවෙන් අපි හඬ නැගුවා. මි නීපෙට්ටි කර තියාගෙන රජයට විරෝධය දක්වන්න අපි පෙළපාලි ගියා.

1994 දී අපේ රජය පත්වූ ගමන් ගොවි ණය කපා හැරියා. ඒ වගේම තමයි නියෝජ්‍ය ඇමැතිවරයෙක්, කැබිනට් ඇමැතිවරයෙක් සහ ජනාධිපතිවරයා විදිහට පොලොන්නරුව දිස්ත‍්‍රක්කයේ දැවැන්ත සංවර්ධනයක් කරන්න මට හැකි වුණා.

රජ සමයෙන් පසුව චන්ද්‍රිකා මැතිනියගේ රජයෙන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයෙන් වගේම මගේ රජයෙන් පොලොන්නරුවට දැවැන්ත සංවර්ධනයක් ගෙන එන්නට මට හැකි වුණා. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ වෙහෙර මනම්පිටිය පාලම, මොරගහකන්ද – කළුගග ජලාශ, වකුගඩු රෝහල ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති පනස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ වන ජනතාවට දායාද කර තිබෙනවා. රැකී රක්ෂා තිස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් දුන්නා. පවුල් විසිපන්දහසකට ඉඩම් දුන්නා. බුදුරජාණන් වහන්සේ දරුවා මළ කිසා ගෝතමියට කිව්වා කිසිවකුත් නොමළ ගෙදරකින් අබ මිටක් රැගෙන එන්න කියලා. මම කියනවා මගේ සංවර්ධන ව්‍යාපෘතියකින් ප‍්‍රයෝජනයක් නොගත් පොලොන්නරුවේ කෙනෙක් හොයා ගන්න කියලා. ප‍්‍රවාහන, මහා මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය වාරිමාර්ග ආදී මේ කුමන හෝ පොදු සේවාවක් ගත්තත් ඒ හැම කෙනෙක්ම ප‍්‍රයෝජනයක් අරගෙන තිබෙනවා.

පොලොන්නරුවේ සංවර්ධනයයෙන් දැන් සියයට අනූනවයක් ඉවරයි. ඉතිරි සංවර්ධන කටයුතු ටිකත් අගෝස්තු මාසේ පස්වැනිදායින් පසුව ආරම්භ කරනවා. අගෝස්තු පස්වැනිදායින් පසුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් දස අවුරුදු සැලැස්මක් ක‍්‍රියාත්මක කරනවා. මේ සඳහා මගේ මිත‍්‍ර මහාචාර්යවරුන් කණ්ඩායමක් උදව් කරනවා. ඉදිරි මැතිවරණයෙන් පසුව මෙතෙක් කළ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කරනවා. දේශයේ තරුණ පිරිසට කෘෂි, නාවික, ගුවන් තාක්ෂණ හා විද්‍යාත්මක ක්ෂේත‍්‍රයේ රැුකියා උත්පාදනය කිරීමට විශේෂ සැලැස්මක් තිබෙනවා. අගෝස්තු මාසේ පස්වැනිදායින් පසුව බිහි වෙන්නේ ජනාධිපතිවරුන් තුන්දෙනකුගේ දායකත්වය ලැබෙන ස්ථාවර රජයක් බව මම කියනවා.
gossip lanka