උද්දික මැතිවරණයට පැද්ද ආණ්ඩුවේ වාහනේ ධාවන සටහනුත් නෑ !

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ උද්දික ප්‍රේමරත්න මහතා මැතිවරණයට තරග කරන සමයෙහි භාවිතා කළ බව කියන කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් PC - 6019 දරණ කැබ් රථයේ ධාවන සටහන් නිසි ලෙස පවත්වාගෙන ගොස් නැතැයි වාර්තා වේ.


මෙම කැබ් රථය ජූලි පළවෙනිදා සිට දාහත් වැනිදා දක්වා සභාපතිවරයාගේ රාජකාරි කටයුතු සඳහා පාවිච්චි කළ බව පමණක් එම වාහනයට අදාළ ධාවන සටහන් පොතේ සටහන් කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.

ධාවන සටහන් නිසි ලෙස සඳහන් කර නොමැති විටෙක එය අනුමත කරමින් සභාපතිවරයා අත්සන් කර තිබීම සහ ප්‍රවාහනය භාර නිලධාරියා එම සටහන් පිළිගැනීමද නීතිවිරෝධී බව එහි සේවකයෝ පෙන්වා දෙති.

මෙම කැබ් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මැතිවරණ අපේක්ෂකයකු ලෙස කටයුතු කරන විට ඔහුගේ රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක නවතා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබූ බව රාවය කියා සිටී.

මේ ගැන කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ එම කැබ් රථය සිය කාර්යාලයේ සේවකයන් ප්‍රවාහන කටයුතු සඳහා යොදා තිබූ බවය.

 එහෙත් තොරතුරු පනත යටතේ ඉල්ලීමේදී දක්වා ඇත්තේ එම රථය සභාපතිවරයාගේ රාජකාරි සඳහා යොදවා ඇති බවය.

අසම්පූර්ණ සටහන් පිළිබඳව කාර්මික සංවර්ධන අධිකාරියේ ප්‍රවාහන අංශය විමසූ විට එහි ප්‍රකාශකයෙකු කියා ඇත්තේ පුරුද්දක් ලෙස සභාපතිවරයාගේ වාහනය ධාවන සටහන් අසම්පූර්ණ ලෙස සටහන් කරන බව ඇත්තක් මුත් එයට එරෙහිව පියවර ගැනීම අපහසු බවය.
gossip lanka