පාතාලයෝ කොළඹ ලැගුම්හල්වල - පාතාලයොන්ව රැක්කොත් දේපළ රාජ සන්තකයි !

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බැවින් එම ජාවාරම්කරුවන් ආරක්ෂිත නිවෙස් වශයෙන් කොළඹ නවාතැන්පොළවල් යොදාගන්නා බවට තොරතුරු ලැබී ඇති බව බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.


එවැනි අපරාධකරුවන්ට ලැගුම්හල් නොදීමට වගබලා ගන්නා ලෙස නවාතැන්පොළවල් හිමිකරුවන් සහ කළමනාකරුවන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා තෙන්නකෝන් මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

එසේම ලැගුම්හල්වලට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කර ගැනීමට සීසීටීවී කැමරා භාවිතය හා සේවකයන් සම්බන්ධ නිෂ්කාශන වාර්තා ලබාගැනීම මෙන්ම තාක්ෂණ උපකරණ භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී උපදෙස් ලබාදී ඇත.
යම් අයකු වුවමනාවෙන්ම පාතාල හෝ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට සහාය දෙන බව පෙනී ගියහොත් ඊට අදාළ සියලු දේපළ රාජසන්තක කරන බවද මෙහිදී පැහැදිලි කරදී තිබේ.

මත් ජාවාරම්කරුවන් හා අපරාධකල්ලි අත්අඩංගුවට

මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බෙදා හරින්නන් හා භාවිත කරන්නන් අත්අඩංගුවට ගැනීම ශීඝ්‍ර ලෙසින් ඉහළ ගොස් ඇති අතර අපරාධකල්ලි සාමාජිකයන්ද සැලකිය යුතු ලෙසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට විශාල වශයෙන් ව්‍යාප්තවුණ සංවිධානාත්මක අපරාධ රැල්ල, මත්ද්‍රව්‍ය රැල්ල, කප්පම් ගැනිල්ල සහ පාතාල සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් මේ වන විට බොහෝ දුරට අඩුවී ඇති බව වාර්තා වේ.
gossip lanka