සහරාන්ගේ අන්තවාදී දේශනා මුලින්ම දැක ඇත්තේ රනිල්ගේ බිරිඳ මෛත්‍රී – කොමිසමේ දී හෙළිවූ තොරතුරු මෙන්න

සහරාන් අන්තවාදී දේශන සිදුකරන බවට තමන් පළමුවෙන් දැන ගනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ විසින් සිදුකළ දැනුම් දීමක් මත බව හිටපු අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශනිල් පෙරේරා විසින් සිදුකළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

” 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ අන්තර්ජාලයේ හුවමාරු වූ සහරාන් හෂීම් ගේ දේශනයක් මට එවා එය විවේචනය කරමින් ඒ ගැන සොයා බලන්න කියා මට කිව්වා. පසුව මම ඒ පිළිබඳව සොයා බැලුවා. 2017 වර්ෂයේදී අලියාර් මංසන්දියේ ගැටුමෙන් පසු වරෙන්තු ලැබ සිටින සහරාන් හෂීම් අධිකරණය මග හැර සිටින බවට දැන ගන්නට ලැබුණා. නමුත් මම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසු අවස්ථාවේ සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. ඒ පිළිබඳව කණ්ඩායම් 50ක් පමණ යෙදවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූවා” යැයි හිටපු ඇමතිවරයා සාක්ෂි දෙමින් කියා තිබෙනවා. 
gossip lanka