වසර ගණනාවක් තිස්සේ පැවැත්වීමට සූදානම් වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය කෙසේ හෝ ලබන 26 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටී. ක්‍රිකට් ආයතනය මීට පෙර උදම් ඇනුවේ ලොවපුරා ප්‍රීමියර් ලීගවල පෙළහර පාන සුපිරි ක්‍රීඩකයන් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් සිය ගණනක් මෙම තරගාවලියට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
කෙසේ වෙතත් අවසානයේදී තරගාවලියට එක්වීමට ඉතිරිව ඇත්තේ මේ වනවිට ජාත්‍යන්තර පිටියෙන් ඉවත්ව සිටි හිටපු ක්‍රීඩකයන් පිරිසක් සහ රටවල් කිහිපයක පළමු පන්තියේ තරගවලට සහභාගි වන ක්‍රීඩකයන් අතළොස්සක් පමණි.
දිනෙන් දිනම වාර්තා වන්නේ තරගාවලියට සහභාගි වන බවට පොරොන්දු වී සිටි ක්‍රීඩකයන්, පුහුණුකරුවන් තරගාවලියෙන් ඉවත් වීම් පිළිබඳවයි. මේ වනවිට එහි කූටප්‍රාප්තිය සිදුව ඇති අතර සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ගාල්ල කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ලසිත් මාලිංග ගාල්ල කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයා වන අතර එම කණ්ඩායමේ හිමිකරුවන් වන පකිස්තානුවන් කණ්ඩායම මිලදී ගත්තේද ලසිත් මාලිංග සිය කණ්ඩායමට අනිවාර්යයෙන් එකතු වියයුතු බව පවසමිනි.
මාලිංග පෞද්ගලික හේතු මත බව පවසමින් මෙවර ඉන්දියානු ප්‍රීමියර් ලීගයෙන්ද ඉවත් වූ අතර සිය රටේම පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් ඔහු මේ වනවිට ක්‍රීඩාලෝලීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටී.
මේ අතර සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ද තරගාවලියට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබේ. ඔහු මහනුවර කණ්ඩායම වෙනුවෙන් සහභාගිවීමට නියමිතව තිබිණි.
ක්‍රීඩකයන් එසේ පෙළින් පෙළට තරගාවලියෙන් ඉවත් වෙද්දී කොළඹ කණ්ඩායමට ගැටලුවක් වී ඇත්තේ ඔවුන්ගේ පුහුණුකරු තෝරා ගැනීමයි.
මුලින්ම කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙස 96 ලෝක කුසලානය දිනා ගැනීමේ නියමුවා වූ ඩේව් වොට්මෝර් තෝරාගෙන සිටි අතර කෙසේ වෙතත් ඔහු තරගාවලියෙන් ඉවත් විය. ඉන්පසු පුරප්පාඩු වූ තනතුර සඳහා එංගලන්තයේ කබීර් අලි තෝරාගෙන තිබිණි. කෙසේ වෙතත් ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග තරගාවලියෙන් ඉවත් වූ අතර කොළඹ කණ්ඩායමට වෙනත් පුද්ගලයෙකු තෝරා ගැනීමට සිදුව තිබේ.
අවසානයේදී ඔවුන්ගේ තෝරා ගැනීම වී තිබෙන්නේ හිටපු දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස්ය. ඔහු ලංකා ප්‍රීමියර් තරගාවලියට සහභාගිවීමට සිටියේ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙසයි. විස්තර විචාරකයෙකු වීමට ශ්‍රී ලංකාවට පැමිණි ඔහුට අවසානයේදී සිදුව තිබෙන්නේ අතින් අතට ගිය කොළඹ කණ්ඩායම පුහුණු කිරීමටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මීට පෙර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය 'ලංකා පෝස්පෝන්ඩ් ලීග්' ලෙස හැඳින්වූ අතර දැන් ඔවුන් එය හඳුන්වාන්නේ 'ඇහින්දාස් LPL' ලෙසයි.
තරගාවලිය ආරම්භවීමට තවත් සතියක කාලයක් තිබෙන බැවින් මෙවැනි අරුම පුදුම තොරතුරු තවදුරටත් ලැබීමට ඉඩ තිබේ.