රට යම් තාක් දුරකට හෝ ලොක්ඩවුන් කරන්නැයි PHI සංගමයේ ලොක්කා ආණ්ඩුවෙන් ඉල්ලයි

නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් නිසි තාක්ෂණික ඇගයීමක් සිදුකරන තෙක් හෝ රට යම්තාක් දුරකට අගුළු දැමීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම රට තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවල මෙන්ම කර්මාන්තශාලා සහ වැඩබිම්වලත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වැඩිවී  තිබෙන අතර දැනට පවතින තත්ත්වය අනුව දැඩි සංචරණ සීමා පනවා කටයුතු නොකළහොත් නව කොවිඩ් ප්‍රභේදයත් සමගම ඉදිරියේදී මෙම වෛරසය වේගයෙන් රට තුල ව්‍යාප්ත වී ඉදිරියේදී රට සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය වීමේ ඉඩක් පවතින බව උපුල් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

“දැනට රටේ පළාත් 09 තුල දිස්ත්‍රික්ක 25 තුලදීම කොවිඩ් ව්‍යාප්තිය සිදුවෙමින් පවතිනවා. දින කිහිපයක් පුරාවට බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වීම වැඩිවෙමින් තිබෙනවා. ඊට අමතරව කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම වැඩිවෙනවා. 

මිට දින දෙකකට ඉහතදී කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තහවුරු කර සිටියා බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ 04කින් වාර්තා වුනු බවට. මෙම වෛරස් ප්‍රභේදයට හැකි වුනා දින 15ක් වගේ කෙටි කාලයක් තුල බ්‍රිතාන්‍යයේ විශාල පෙරලියක් කරන්න. ඒ වගේම ඉන්දියාවේ ජනගහණයට සාපේක්ෂව මෙම වෛරසයට විශාල ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න හැකියාවක් ලැබුනේ නැහැ. නමුත් ලංකාව තුල මෙම වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් තාක්ෂණික විශේෂඥයින් පැහැදිලි කර කියා නැති නිසා අපට දැන්ම කිසිදු දෙයක් කීමට හැකියාවක් නැහැ.

ඒ වගේම මෙම වෛරස ප්‍රභේදය ප්‍රදේශ 04කින් වාර්තා වූ බවට සඳහන් කලත් දිවයිනේ අනෙක් ප්‍රදේශවලින් මෙම වෛරස් ප්‍රභේදය වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. නමුත් පසුගිය දින කිහිපය ගත්තම ආසාදිතයින් ගේ වාර්තා වීම සීඝ්‍ර වශයෙන් ඉහල ගොස් තිබෙනවා. කොවිඩ් 19 තීරණාත්මක අවස්ථාවක අප පැමිණ තිබෙන බවට ප්‍රතිපත්ති තීරකයින් මෙන්ම බලධාරීන් දැන ගත යුතු කරුණක් බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කර සිටින්නේ.

මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ඉක්මන් තීරණ ගැනීම සිදුකරන බවට පසුගිය කාල සීමාවේදී අපිට දකින්නට ලැබුණා. විශේෂයෙන් ආසාදිතයින් 20 කට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශ පවා සම්පුර්ණයෙන්ම හුදෙකලා කරන තැනට පත්වුවා. ඒ හරහා ඔවුන් වෛරසය පාලනය කිරීමට සම්ත්වුවා. එය හොද උදාහරණයක් යැයි” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.
gossip lanka