වියදම් පරිස්සමින්… නියමකළ වියදම් සීමා පැන්නොත් ජනපති ධූරයත් නැති වේවි… මැතිවරණ කොමිසම අපේක්ෂකයින්ට කියයි!

සියලුම ජනාධිපති ධුර අපේක්ෂකයන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසු දින 21ක් තුළ මැතිවරණ වියදම් සහ ආදායම් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතු බවත් යම් හෙයකින් නිත්‍යනුකූල සීමා ඉක්මවා මෙම ගණන් හිලව් පැවතුණහොත් අධිකරණ තීන්දුවක් හරහා ජයග්‍රහණය කළ පුද්ගලයාගේ ධුරය අහෝසි කිරීම ට පවා හැකි බවත් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක පවසයි.

මාධ්‍ය විසින් කරන ලද විමසීමකදී මේ බව සදහන් කළ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා , 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් සීමා පනත යටතේ මැතිවරණයකදී වැය කළ යුතු අවසර ලත් මුදලක් තීරණය කරන බවයි. එම අවසර ලත් මුදල ඉක්මවා මුදල් වැය කිරීම නීති විරෝධී වන අතර ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැති බව සමන් ශ්‍රි රත්නායක‍ෙ පවසයි.

“මැතිවරණ වියදම් සීමා පනත යටතේ අවසර ලත් මුල ඉක්මවමින් මුදල් වැය කිරීමට නොහැකියි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දින 21ක් තුළ අදාළ අපේක්ෂකයන් සිය ආදායම් හ වියදම් දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාව දින 10ක් ප්‍රදර්ශනය කෙරෙනවා. යම් හෙයකින් එම සීමා ඉක්මවමින් යම් අපේක්ෂකයකු වියදම් කර තිබුණහොත් අධිකරණ තීන්දුවක් හරහා ධුරය අහෝසි කිරීමටත් පුළුවන්.”

කෙසේ වුවද මෙම මැතිවරණ සීමා පිළිඳව අවසන් තිරණය ඉදිරි දින කිහිපය තුළ නිශ්චය කිරීමට මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

දැනට පවතින සීමා අනුව ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් එක් දේශපාලන පක්ෂයක් විසින් වැය කරනු ලැබිය යුත්තේ රුපියල් 20ක මුදලක් වුවද එය කිසිසේත් නොසෑහෙන බව දේශපාලන පක්ෂ මේ වනවිට මැතිවරණ කොමිසම වෙත අදහස් ඉදිරිපත් කර තිබේ.

මේ අනුව එක් එක් දේශපාලන පක්ෂ මේ සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර රුයිපියල් 250 සිට 400ක් අතර පරාසයක මුදලක් නිශ්චය කරන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර ඉරිදා මව්බිම පුවත් පත වාර්තා කළේ දේශපාලන පක්ෂ කිහිපයක්ද එක් පක්ෂයකට රුපියල් බිලියන 7ක මුදලක් වැය කිරීමට අවසර ලබා දෙන ලෙසට නිර්ණායක සකස් කරන ලෙස ඉල්ලා ඇති බවයි. ඒ අනුව මෙවර ජනාධිතිවරණයේදී ප්‍රධාන දහරාවේ පක්ෂ සහ අපේක්ෂකයන්ට රුපියල් කෝටි 3000කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවට එම පුවත් පත කරුණු හෙළි කර තිබුණි
Previous Post Next Post