සටන සජිත් හා අනුර අතර! රනිල්ට අත්වන ඉරණම ! ජ්‍යොතිෂවේදී සුජිත් නිශාන්ත ඡන්ද ප්‍රතිඵලය කියයි !

 
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යද්දී ඉන් ජයගන්නා අපේක්ෂකයා ගැන විවිධ මත පළවෙමින් තිබේ. ඒ ඒ පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා ජයගන්නා බවට අදාළ පක්ෂවල නියෝජිතයන් අදහස් පළකිරීම මෙවැනි කාලසීමාවක සාමාන්‍ය සිද්ධියකි. එහෙත්, කිසිදු පක්ෂයකට නැඹුරු නොවූ නිදහස් මතධාරී ජ්‍යොතිෂවේදියකු විසින්, මෙම ජනාධිපතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයා පිළිබඳ නිශ්චිත අනාවැකියක් පළකිරීම තරමක් සුවිශේෂය. කලක් තිස්සේ මෙරට ආන්දෝලනාත්මක දේශපාලන අනාවැකි පළකරමින් ජනතාව අතර නමක් දිනාගෙන සිටින ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුජිත් නිශාන්ත මහතා එලෙස ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහුගේ අනාවැකිය පසුගියදා ඉදිරිපත් කර තිබිණි.Hela Rahas යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සුජිත් නිශාන්ත මහතා සිදුකළ එම අදහස් දැක්වීම පහත පළවේ.

සාකච්ඡාවට ආරම්භයක් විදියට මේ දිනවල දේශපාලනයට අදාළ ග්‍රහ පිහිටීම ගැන මුලින්ම දැනගන්න කැමැතියි?

2024 සැප්තැම්බර් 21 වැනි ශනි දින තමයි මේ ජනාධිපතිවරණය පවත්වන්නේ. එදාට බෙරණ නැකතෙන් තමයි දිනය උදාවෙන්නේ. ශනි හෝරාවේ රවී පංචම හෝරාවෙන් තමයි එදා දවස පිහිටා තියෙන්නේ. මේ කේන්දරයට අනුව ඔබ අහන්නේ රටට මොකක් වෙයිද කියන ප්‍රශ්නය. 2024 ග්‍රහචාරය පිහිටීම දිහා බලනකොට මේක සාමාන්‍ය පිහිටීමක් නෙවෙයි. මේක කවුරුත් හිතාමතා කරන දේකුත් නෙවෙයි. 1994 චන්ද්‍රිකා මැතිනිය මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ ග්‍රහචාරයට 93-94 තියෙන ස්වභාවයට සමාන ලක්ෂණ යම් ප්‍රමාණයක් මේ වර්තමානයේ ආර්ථික සමාජ දේශපාලනයෙත් තියෙන නිසා ඒ ගැන මම ටිකක් කියන්නම්. රවී කේන්ද්‍රගත වෙලා ඉන්නකොට තත්කාල කේන්දරයේ කේතුත් එක්ක තමයි මේ පිහිටීම වෙලා තියෙන්නේ. එතකොට මේ ග්‍රහචාරයේ තියෙන පළමු කාරණාව තමයි විශාල අපේක්ෂා දල්වාගෙන ඉන්න රටේ, සැප්තැම්බර් 21න් පස්සේ යහපත් වෙයි කියලා මිනිස්සු හිතාගෙන ඉන්න රටේ මේ කේන්දරයට අනුව නම් ඉතා පීඩාකාරී රිදුම්කාරී ගමනක් යන්න වෙනවා. කවුරු ජනාධිපතිවරයා හැටියට පත්වුණත් මේක ලේසි වෙන්නේ නෑ.

මේ ග්‍රහචාරය පිළිබඳ විස්තර කරන්න කලින් ගැළපීමක් කළොත් 1993 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ පත්වෙනකොටම කල් තියාම මම කියන්නේ ගෝඨාභයට මේ අසුනේ රාජ යෝගයක් නෑ, බැහැලා යන්න වෙනවාමයි, ගිනි ගන්නවාමයි, ජීවිත විනාශ වෙනවාමයි කියලා. රාජපක්ෂ දේශපාලනය හැඳිගෑවෙනවා කියලා මම කියලා තියෙනවා. මම එතැනදී තර්කයක් දුන්නා එවක ග්‍රහචාරය අනුව රණසිංහ ප්‍රේමදාස ජීවිතයෙන් බැස ගියාට මෙයාට අවුල් කාලයක් තියෙන නිසා මෙයා දේශපාලන ජීවිතයෙන් බැස යනවා කියලා. ඒ අනුව එවක තිබුණු ග්‍රහචාරය අනුව පක්ෂය අම්මයි දුවයි අතර හැප්පිලා දුව වෙනම සන්ධානයක් විදියට හදාගෙන පළාත් සභාවට ඉල්ලනවා. ඒ අනුව දේශපාලනයේ ස්ථාවර වෙලා තමයි අම්මගේ බලය අල්ලන්නේ. මෙවරත් දේශපාලන ලෝකයේ මේ තමාගේ දේශපාලන පක්ෂයේ නූතන පියා ලෙස සැලකූ රටක රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත් ප්‍රේමදාස සටනට එනවා. එයාව පරද්දලා මැද කොළඹින් සජිත් ප්‍රේමදාස වෙනම පක්ෂයක් හදලා, ඉන් පසුව එයා නැවත සන්ධානගත වෙලා දැන් රනිල් වික්‍රමසිංහට එරෙහිව අවි අමෝරලා තියෙනවා. දේශපාලන ද්වන්ධ සටනකට ඇවිල්ලා තියෙනවා.


එවක මැතිනිත් පක්ෂයේ ප්‍රධානියෙක් වෙලා හිටියා. මෙයත් ඒ බලය අල්ලන්න ඒ විදියටම ආවා වගේ මේ වෙලාවේ යූ.ඇන්.පී.ය වගේම රටේ ප්‍රධානියෙක් වන රනිල් වික්‍රමසිංහ ඉන්නවා. සජිත්ගේ දේශපාලන අත්පොත තබනකොට හිටිය එයාගේ පක්ෂ නායකත් එක්කයි සටනට එන්නේ. මොකද චන්ද්‍රිකා සහ එයාගේ අම්මා කියලා කියන්නේ පුද්ගලික ගැටුමක් ගේ ඇතුළේ තිබුණා නෙවෙයි දේශපාලන ගැටුමක්. එහෙනම් අදත් රනිල් සහ සජිත් අතර තියෙන්නේ දේශපාලන ගැටුමක් මිසක් පුද්ගලික ගැටුමක් නෙවෙයි. මේවා ආවාට ගියාට, අස්වාභාවිකව සිදුවන දේවල් නෙවෙයි. යම් හේතු සාධක අනුවයි සිදුවෙන්නේ. මේ සිදුවීම් වෙන්න කලින් 93ට කලින් සමාජ දේශපාලන අසහනයක් තිබ්බා. ඒ අසහනයෙන් පසුව තමයි නූතන විහාරමහාදේවි කියන විරුදාවලියත් එක්ක චන්ද්‍රිකා බලය අල්ලන්නේ.

ඔබට පේනවා ඇති එවක වගේම දැනුත් දේශපාලන අසහනයක් රටේ තරුණ සහ වැඩිහිටි ප්‍රජාව අතර ඇතිවෙලා තියෙනවා. එහෙම නම් එදා තිබුණු අසහනකාරී බව වගේම තත්ත්වයක් අදත් රට තුළ තියෙනවා. ඒකට තමයි දැන් මේ සටන එළඹිලා තියෙන්නේ. ලංකා කේන්දරයේ අධිපති වෙන්නේ කුම්භ. කුම්භ ලග්නාධිපති සෙනසුරු. රාජ යෝග ගැන කියවෙන්නේ 6, 8, 12 කියන ස්ථාන පදනම් කරගෙනයි. මේ ගැන දීර්ඝ විස්තරයක් කරන්නේ නැතුව වුණත් රාජ යෝග සහ පිහිටීම් දිහා සහ ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රධාන අපේක්ෂකයන්ගේ කේන්දර දිහා ජ්‍යොතිෂය අනුව බලලා තමයි මේ කටයුතු කෙරෙන්නේ. ඔබ අහපු ප්‍රශ්නෙ උත්තරේ තමයි ඉදිරියේදී රටට කුමක් වෙයිද කියනවා නම් දැනට පිහිටීමට අනුව, තත්කාල කේන්දරය අනුව, මැතිවරණ දිනයේ ජ්‍යොතිෂ විවරණය පිළිබඳ කතා කළොත් කවර පුද්ගලයෙක් ජනාධිපති පුටුවේ ඉඳගත්තත් එය ඉතා පරිස්සම්කාරීව ඉතාම කල්පනාවෙන් යායුතු ගමනක් බව. එහෙම නොවුණොත් මේ රටේ තවත් අර්බුද ඇතිවේවි. රාජ්‍යය උදහසට ලක්වේවි. රාජ්‍ය නායකයා උදහසට ලක්වේවි. ඒ වගේම ජනයාගේ පීඩනය අමුතු මුහුණුවරකින් නැවත සමාජගත වේවි.

රටේ ජනාධිපති ලෙස කවුරු පත්වුණත් ජනතාවට සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැද්ද?
යම් වැඩපිළිවෙළක් පුද්ගල කේන්ද්‍රීයව නැතුව කණ්ඩායම් හැඟීමකින් ක්‍රියාත්මක කරනවා නම්, විද්වතුන් සහ අත්දැකීම් ඇති අය සමග ලෝකය දිනාගන්න පුළුවන් නායකයෙක් විදියට, ඒ කියන්නේ ආර්ථික සමාජ දේශපාලන වශයෙන් ගත්තම මුස්ලිම් දෙමළ සිංහල මැද මාවතකට ඇවිල්ලා එක විදියකට ලෝකයට කතාකරන්න පුළුවන් නම්, අපි දැන් සාමකාමී මැද මාවතක ගමන් කරනවා, අපි මිනිසාගේ මූලික අයිතීන්වලට ගරු කරමින් යන රටක් කියලා, ලෝකයේ ආශීර්වාදයත් එක්ක මේ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන් වුණොත් එදාට අපිට සතුටු වෙන්න පුළුවන්.

ජ්‍යොතිෂ විද්‍යාවට අනුව අනුර කුමාර දිසානායකට ජනාධිපති වෙන්න පුළුවන්ද?

මට ලැබිලා තියෙන වෙලාව අනුව තමයි මට උත්තර දිය හැක්කේ. 1968 ධනු ලග්නයෙන් තමයි ඔහු උපත ලැබුවා කියලා කියන්නේ. මේ කේන්දරයේ ධර්ම කර්මාධිපති යෝගයක් තියෙනවා. වගකීමෙන් මම කියනවා මේ කේන්දරයේ රාජ යෝගයක් නැහැ. රාජ යෝගයක් නෑ කියන එක ඔහුගේ දේහ ලක්ෂණ තුළත් තියෙනවා. කිසියම් දෙයක් ඉක්මනින් ග්‍රහණය කරගැනීමේ බුද්ධිය ඔහුට තියෙනවා. නායකත්වය දීමේ හැකියාව තියෙනවා. මම මුලින්ම කියන්න කැමැතියි අනුර කුමාර දිසානායක මේ මහපොළොවේ රජ වෙන්නේ නැහැ.


ඔබ ස්ථිරවම කියනවද අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති වෙන්නේ නෑ කියලා. හදිසියේවත් ඔහු ජනාධිපති වුණොත් ඔබ කියන අනාවැකිය වරදිනවා නේද?

ඒක අපි එදාට කතාකරමු. මගේ ඉතිහාසය තුළ මම කියපු දේ අනුව හිතලා බලන්න. ගෝඨාභය රාජපක්ෂ ලංකාව සිංගප්පූරුවක් කරනවා කියනකොට ඔහුට ධුරයෙන් බැහැලා යන්න කියලා ජනතාව කියනවා කියපු ලංකාවේ එකම කෙනා මම. ගෙවල් ගිනිගන්නවා කියන වචනය කිව්වේ මම. පාස්කු ප්‍රහාරය ගැන ලිඛිතවත් කිව්වේ මම. අපි බලමු අනුර කුමාර ගැන ඇයි මම එහෙම කියන්නේ කියලා.

ඉතිහාසයේ සිරිසඟබෝ රජතුමා යහ මාර්ගයේ ගියා කියන්නේ නන්ද කියන පොඩි හාමුදුරුවෝ ඇසුරු කරලා. නන්ද පොඩි හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් තමයි සිරිසඟබෝ රජු ගමන් කරලා රට එක්සේසත් කරන්න සශ්‍රීක කරන්න මැදිහත් වුණා කියලා රාජාවලියේ සඳහන් වෙන්නේ. ගැමුණු කුමාරයයි තිස්ස කුමාරයයි දෙන්නට අම්මා බත් ගුළි එකතු කරලා එක පොරොන්දුවක් ඉල්ලනවා. ඒ තමයි රටේ මුර දේවතාවන් වන සංඝයාට කිසිම දවසක එරෙහි වෙන්නේ නෑ කියන පොරොන්දුව. එවන් ඉතිහාසයකින් පෝෂණය වෙච්ච රටක් මේක. ඒ බෞද්ධ සංකල්පවලින් තමයි අතීත රජ දරුවෝ මේ රට නගාහිටෙව්වේ. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සිසිලස දනවන සංකල්පත් එක්ක තමයි රජවරු මේ රට නිර්මාණය කළේ. මේක බෞද්ධ රටක්. මේ රටේ නිරාගමිකයන්ට ඉඩක් ලැබෙන්නේ නෑ දේවතාවන්ගෙන්. අනුරාධපුරයට ගියොත් රුවන්වැලිසෑය, දකුණට ගියොත් කිරිවෙහෙර, බස්නාහිරට ගියොත් කැලණිය. මෙවැනි රටක රාජ්‍ය නායකයෙක් බිහිවීම ලේසි පහසු නෑ. ඒ නිසා මේ රජකම කියන එක එයාට එන්නේ නෑ කියන්න පළමු හේතුව තමයි මේ අය කතාකරන කාරණාවලින් කිහිපයක් බැලුවොත්, එකක් තමයි මෙයාලා නිරාගමිකයි. මෙයාලා සංස්කෘතියට ගහනවා. මෙයාලා හාමුදුරුවන්ට දෙනවා නම් අපිටත් දෙන්න ඕනේ කියලා කියනවා. මම කියන්නේ මෙයාලා කියපුවාගෙම කොටස්වලින්. මෙයාලා මේ ආගමික විශ්වාසයන්වලට පහර දෙනවා. ආගමක් ජාතියක් ඉතිහාසයක් පිළිබඳ ගවේෂණයක් නැත්නම්, ඉතිහාසයට ගරු කරන්නේ නැත්නම් මේ රටේ එහෙම පිහිටක් ලැබෙන්නේ නෑ.

අනුර කුමාර බැරිවෙලා හරි බලයට ආවොත් කියලා ඔබ කියනවා නම්, අනුර කුමාර ආවොත් ලෙයින් තෙත්වුණු, කඳුළින් නැහැවුණු තවත් එක්තරා බංග්ලාදේශයට නොදෙවැනි පරිච්ඡේදයක් රටේ උදාවෙනවා.

අනුර කුමාර දිසානායක වේදිකාවල කතාකරන විදියට ඔහුට මේ රට පාලනය කරන්න බැරිවේවි කියලද ඔබ කියන්නේ?

ෂේක් හසීනා වරක් කියනවා මම ඇමෙරිකාවට ඕනෙ විදියට කටයුතු කළා නම්, අදත් මම බංග්ලාදේශයේ අගමැති කියලා. ඒකෙන් කියන්නේ මොකක්ද? ඇය කියන්නේ අධිරාජ්‍යවාදීන්ට පුළුවන් එක රැයකින් රාජ්‍යයක් පෙරළා දමන්න. ඔවුන්ට ඒ සඳහා තියෙන පළමු සාධකය තමයි ඔවුන්ට අවනත වෙන පුද්ගලයෙක්ව පුටුවේ ඉන්දවන්න ඕනේ. ඒකට සුළුතර ඡන්ද ප්‍රතිශතයක් තියෙන, ශක්තිමත් නොවූ පුද්ගලයෙක් පටුවේ ඉන්න තරමට ඔවුන්ට වාසීයි. උදාහරණයක් කිව්වොත්, අනුර කුමාර පත්වෙනවා. ඔහුට පාර්ලිමේන්තුවේ ඉන්නේ තුන්දෙනයි. තව අහුලගෙන එන අයත් එක්ක ඔහු එකතුවෙලා දේශපාලන තීන්දු අරගෙන රට හදනකොට භූ දේශපාලනය ගැන කිසි අවබෝධයක් නෑ. එක පැත්තකින් චීනය. එක පැත්තකින් ඇමෙරිකාව. එක පැත්තකින් ඉන්දියාව. එක පැත්තකින් යුරෝපය අපේ දිහා බලාගෙන ඉන්නේ භූ පිහිටීම අනුව මේ රටේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් තමයි ත්‍රිකුණාමල වරාය. යම් අවස්ථාවක බලවතෙක් කිව්වොත් අපට ඒකේ කඳවුරක් පිහිටුවන්න දෙන්න කියලා, කඳවුර පිහිටුවන්න මෙයා බෑ කියපු ගමන් එක ටෙලිෆෝන් කෝල් එකෙන් තෙල් නැව් දෙකක් නවත්තනවා. එහෙම කළොත් අනුර කුමාරට මොකක්ද තියෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව මේක මැද මාවතකට ගේන්න. අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා තානාපතිවරු කිහිප දෙනෙක් එක්ක ෆොටෝ එකක් අරගෙන සමාජ මාධ්‍යයට දැමීම නෙවෙයි භූ දේශපාලනික රාජ්‍යතාන්ත්‍රික සබඳතා කියලා කියන්නේ. ඒකට යම් සවිශක්තිමත් දේශපාලන ගනුදෙනු කරලා පළපුරුද්දක් සහ ලෝක භූ දේශපාලනය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ෂේක් හසීනා වගේ දශක එකහමාරක් රට පාලනය කරපු අත්දැකීම් සහිත කාන්තාවක්ව පයින් ගහලා එළියට දාන්න ඔවුන්ට පුළුවන් වුණා. ත්‍රස්තවාදී ආකල්පවලින් මිදිලා අවි බිම තියලා, ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ආවා කියන කණ්ඩායමක් සම්බන්ධයෙන් ලෝක දේශපාලනය තුළ ඇති පිළිගැනීම හරි අවමයි. ඒක අපි පිළිගන්න ඕනේ. ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදයට ආවා කිව්වොත්, එල්.ටී.ටී.ඊ. එක හෝ, ජේ.වී.පී. එක හෝ හිස්බුල්ලා සංවිධානය හෝ ඒක ඒ රටට ආවේණිකව යම් සහනයක් වුණාට භූ දේශපාලනය තුළ ඔවුන්ට ලැබෙන පිළිගැනීම හරිම අවමයි. ඒ පිළිගැනීම නැත්නම් එයාලා කරුණු දෙකක් කියනවා. එක්කෝ උඹ මට දණගහපන්, එහෙම නැත්නම් උඹ මේකෙන් පලයන් කියලා. එතකොට මෙයාලට එයාලා එක්ක හැප්පෙන්න තියෙන රාජ්‍යතාන්ත්‍රික පරිණතභාවය නෑ. ඒ නිසා මෙයා ඇවිල්ලා දවස් දෙක තුනක්, මාස හතරක් පහක් යනකොට මේ රට අඳුරු යුගයක් ඇවිල්ලා නැවත ලේ විලක් බවට පත්වෙනවා.

අනුර කුමාර දිසානායකගේ මේ කේන්ද්‍රයට අනුවත් ඒක තියෙනවා. රාජ යෝගයක් නැති කෙනෙක් රාජ්‍යත්වයට පත්කිරීමෙන් වස් වදිනවා කියලා ගෝඨාභය රාජපක්ෂට මම කිව්වා. එක දෙයක් මම කියනවා. මේක ලියලා තියාගන්න. ඔබ කියන විදියට ඔහු බලයට පත්වෙනවා නම් ඔහු රාජ්‍යත්වයට පත්වෙලා කරන ක්‍රියාවලියේ අනිත් කාරණාව තමයි ගිනිගන්න පටන්ගන්නේම අනුර කුමාරගේ ගේ ඇතුළෙන්. එයාගේ පාක්ෂිකයන්ගෙන්. පොහොට්ටුව බේරේ වැවට පමණයිනේ දැම්මේ. මෙයාලා වැවට විතරක් නෙවෙයි ළිඳටත් වැටෙන තත්ත්වයට පත්වෙනවා. මේ ගැන පුළුල්ව විස්තර කරන්න පුළුවන් ජ්‍යොතිෂයට අනුව. අනුර කුමාරගේ දේශපාලන භාවිතය ගැන මට තියෙන්නේ ලොකු පැහැදීමක්. අනුර කුමාර, ලාල්කාන්ත, හරිණි වගේ විද්වතුන් ඉන්නවා. ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඔවුන්ට ලංකාවේ දේශපාලනය තුළ දූෂණය සහ අක්‍රමවත් දේශපාලන ක්‍රියාවලීන්වලට එරෙහිව ඔවුන් වගේ සටන් සගයන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. නමුත් මම කතාකළේ ජනාධිපතිවරයෙක් වෙන්න ඔහුට සුදුසුකම් නෑ කියන එක.

අපි දැන් කතාකරමු නාමල් රාජපක්ෂ ගැන. නාමල් රාජපක්ෂගේ දේශපාලන දිශානතිය ජ්‍යොතිෂයට අනුව කොයි වගේද?

නාමල් රාජපක්ෂ සිංහ ලග්නයෙන් උපන් කෙනෙක්. මම ඔහු ගැන කරුණු දෙකක් කියන්නම්. කවුරු මොන දේශපාලනය කතා කළත් නාමල් රාජපක්ෂගේ කේන්දරය තුළ පිහිටීමක් තියෙනවා දේශපාලනයේ ඉහළට එන්න. ඒක නැති කරගත්තේ රාජ යෝගයක් නැති කෙනෙක් මහින්දට වඩා උඩින් තිබ්බ නිසා වස් වැදිලා හැඳිගෑවිලා ගියා. මම ඒකට උපමාවක් කිව්වා පොහොට්ටුව වතුර යට තියෙනකොට කුණුවෙලා යනවා, එළියට ආවම තමයි පිපෙන්නේ කියලා. එහෙම නම් නාමල් රාජපක්ෂට මේ යුගයේ වඩාම ජනප්‍රිය චරිතයට බවට පත්වෙන්න තිබුණු අවකාශය නොලැබුණේ එදා නුසුදුස්සෙක් පත්කරපු නිසා. මම එදා කිව්වා චමල් රාජපක්ෂව දාන්න කියලා. නාමල් රාජපක්ෂ ඉවසීමෙන් කටයුතු කළොත් නැවතත් අනාගත දේශපාලන ලෝකයේ යම් ස්ථාවරයකට ඒමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැනට ඔහුගේ පිහිටීමට අනුව මේ තරග බිමේ ඔහුට ඉතා සැලකිය යුතු තරගකරුවෙක් විදියට පහළ මට්ටමේ තරග කිරීමේ හැකියාවක් විනා ලංකා දේශපාලනය තුළ රජ වීමේ හැකියාවක් මේ මොහොතේ කිසිසේත්ම නෑ.

රට අස්ථාවර තැනක තියෙනකොට වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලැබෙනවා. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත බලයට ඒමේ ප්‍රතිශතය ජ්‍යොතිෂයට අනුව කොයි වගේද?

මුලින්ම කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහට දේශපාලන භූමිකාව තුළ කිසිම දවසක මින් ඉදිරියට රටේ නායකත්වයක් ගන්න බෑ කියලා මම 2019දී කිව්වා. මම එහෙම කියනකොට එයා ජනාධිපති වුණා. මම ඒක පැහැදිලි කළා. ඔහු ජනාධිපති වුණේ සර්වජන ඡන්ද බලයෙන් නෙවයි. දොරටුපාල රජ වුණා හා සමානව අනියමින්. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප්‍රමාණයකින් ඔහු ධුරයක් ලැබුවා මිසක් රටේ ජනාධිපති නෙවෙයි. ඔහු පාර්ලිමේන්තුවේ ජනාධිපති. ඔහුට රාජ යෝගයක් නැහැ. ඔබ කියනවා ඔහු රට ස්ථාවර කළා කියලා. රට ස්ථාවර කළා නම් මේ වෙද්දී සශ්‍රීක රටක් බවට පත්වෙන්න ඕනේ. ඒක තමයි රාජ්‍යත්වයේ තියෙන ප්‍රධාන සාධකය. රටක් සශ්‍රීක කරන්න ක්‍රියාවලියක්, ග්‍රහචාරයක් තියෙනවා වගේම එහි ඉඳගන්න ප්‍රධානියගෙත් යම් පිහිටීමක් තියෙන්න ඕනේ. රට ස්ථාවර කළා නම් ලංකාවේ මන්දපෝෂණ ප්‍රතිශතය වැඩිවුණේ කොහොමද? තෙල් මිල ඉහළ ගියේ කොහොමද? බඩු මිල ඉහළ ගියේ කොහොමද? ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 41ක් කියලා කියනවා. මුළු ණය ඩොලර් බිලියන 102කට වඩා වැඩියි. මේ ඩොලර් බිලියන 102 ගෙවන්න කලින් ආර්ථිකය සංකෝචනය කළා කියනවා. වාහන ගෙන්වන්නේ නෑ, පිටරට දේවලට තහංචි දැම්මා.

1993 ප්‍රේමදාස ඝාතනය වුණා. ඒ කාලේ ලෝකයේ බලවතා බිල් ක්ලින්ටන්. රනිල් වික්‍රමසිංහ මෙහේ පක්ෂයේ නායකයා. ඊගාවට ජෝර්ජ් බුෂ්. එතකොටත් මෙහෙ රනිල් වික්‍රමසිංහ. ඊගාවට බැරැක් ඔබාමා. එතකොටත් රනිල් වික්‍රමසිංහ නායකයා. ඊගාවට ට්‍රම්ප්. එතකොටත් පක්ෂයේ නායකයා රනිල්. ඊගාවට දැන් ඉන්න ජනාධිපති ජෝ බයිඩන්. එයත් යන්න දැන් ළඟයි. තාමත් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති. 6 වතාවක් මේ රටේ අගමැතිකම දැරුවා. එදා රටේ ණය බර තිබ්බේ නැද්ද? දුප්පත්කම තිබ්බේ නැද්ද? විරැකියාව, අසහනය තිබ්බේ නැද්ද? 88-89 කියන භීෂණ සමයේ සමාජ අසහනය ආවේ රනිල් වික්‍රමසිංහ එවක තනතුරු දැරූ රජයන් යටතේ නෙවෙයිද? එදා ඉඳලා අද වෙනකල් ඒ අසහනය තවමත් පවතිනවා නම්, රනිල් වික්‍රමසිංහව ආයෙත් බලයට ගෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒක වන්දිභට්ටකම් කරන දේශපාලනයක්. එයාගේ පාර්ලිමේන්තු කාලය අවුරුදු 50කට කිට්ටුයි. එබඳු කාලයක් නායකත්වය දීලා, හය වතාවක් අගමැතිකම් කරලා, ජනාධිපතිකම් කරලා දැන් කියනවා නියම විදියට රට හදන්න යන්නේ, 2028දී කියලා. ඒ නිසා තාරුණ්‍යය හැටියට ඔබත් මමත් මේ වයෝවෘද්ධ වලව් පන්තියේ දේශපාලනයට තිත තැබිය යුතු නැද්ද?

අපි දැන් කතාකරමු සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන්. අනුරටත් බැරි නම්, නාමල්ටත් බැරි නම්, රනිල්ටත් බැරි නම් ඔබ කියන්නේ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා කියලද?

2024 සැප්තැම්බර් 21 වැනිදා තත්කාර කේන්දරයට අනුව බෙරණ නැකතේ පළමු පාදයෙන් තමයි දවස උදාවෙන්නේ. මෙයාගේ සුවන නැකත. බෙරණ නැකත සහ සුවන නැකතේ සමීප ගැළපීමක් තියෙනවා. දෛවෝපගත සිද්ධිය තමයි මොහුගේ කේන්දරයට සාපේක්ෂව සුවන නැකතට වඩාත් ගැළපෙන නැකත් දිනය මෙතුමාට තමයි හමුවෙන්නේ. ලංකා දේශපාලනය තුළ දැනට ඉන්න අයගෙන් එකම පුද්ගලයාටයි රාජ යෝගයක් පවතින්නේ. රනිල් වික්‍රමසිංහට රාජ යෝගයක් නෑ. අනුර කුමාර දිසානායකට රාජ යෝගයක් නෑ. නාමල් රාජපක්ෂට මේ මොහොතේ රාජ යෝගයක් නෑ. ඒක මම වගකීමෙන් කියනවා. රාජ යෝගය කියන එක නැතුව කෙනකුට රජ වෙන්න බෑ. මේ රටේ ජනසම්මතවාදය කේන්ද්‍රගත වෙලා ඒ කේන්ද්‍රීය ජනසම්මතවාදයේ ප්‍රීති ඝෝෂා මැදින්, ආසියාවේ දේශපාලනික ආර්ථික හැරවුම් ලක්ෂ්‍යයේ තරුණ නායකත්වයක් විදියට තමයි 2024 වෙනස් වෙන්න යන්නේ. 2024 මේ දශකයේ අග භාගයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා හැටියට මේ රටේ පිහිටීම තියෙන්නේ, හැඬූ කඳුළු කැට පිසදමන, වියැකිලා ඉරිතලා ගිය මහපොළොව සශ්‍රීක පොළොවක් බවට පරිවර්තනය කරන, මේ රටේ තිබුණු අසමගිය සමගි කරන, ආර්ථික සුනාමියකින් පීඩාවට පත්වෙලා තිබුණු රටකට මුවගට සිනාවක් ගේන්න පුළුවන් රාජ්‍ය නායකයා විදියට ජන රැල්ලක් සජිත් ප්‍රේමදාස වටා නියත වශයෙන්ම ගොඩනැගෙනවා. ඒ එක්රොක් වීම හරහා අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්තියත්, අන්ත වාමාංශික ප්‍රතිපත්තියත්, අන්ත ලිබරල් ක්‍රමයත් අයින් කරලා මානුෂීය ධනවාදී ප්‍රතිපත්තියේ මැදමාවතට ගෙනල්ලා ඔහු වටා දුගී පැල්පතේ ඉඳලා මහ මැඳුර දක්වා මිනිස්සු සංකේන්ද්‍රගත වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට සැප්තැම්බර් 21 වැනිදායින් පස්සේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අලුත් දේශපාලන ආර්ථික සමාජයීය පුනරුදයක් මේ රටේ ඇතිකරමින් මෙතෙක් කාලයක් තිබුණු වේදනාකාරී දශක තුනක ගමන් මග වෙනස් කරමින් ආසියාවේ රිදී සීනුවක් විදියට ඔහු ඔහුගේ දේශපාලන පරිචය තුළ ලංකා දේශපාලනයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා. ඔහු ජනයාව ආමන්ත්‍රණය කරනවා.

ඔහු පසුපස ඉන්න කණ්ඩායම හර්ෂ, එරාන්, කබීර් ඇතුළු ඒ ආර්ථික විද්වතුන් ලෝක දේශපාලනය වගේම ආසියාව පිළිගන්නා විද්වතුන් ලෙස එක කණ්ඩායමක් ලෙස වැඩ කළොත් එදා ලලිත්, ගාමිණී ඇතුළු ප්‍රේමදාසලාගේ යුගය නැවතත් මේ මහපොළොවේ 2024න් පස්සේ ප්‍රතිනිර්මාණය වෙනවා. ලලිත්- ගාමිණී- ප්‍රේමදාසලා මහවැලි සංවර්ධනය ඇතිකරමින්, රැකියා බිහිකරමින්, කර්මාන්තපුර ඇතිකරමින්, නිවාස දසලක්ෂයක් අතිකරමින් එදා තිබූ යුගය දශක තුනකට පස්සේ ප්‍රතිනිර්මාණයක් වෙනවා කබීර් – එරාන් – හර්ෂ එක්ක රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසගේ දිවුරුම් දීමත් එක්ක. එය උදාවෙනවාද නැද්ද කියන එක 2024 සැප්තැම්බර් මාසේ 22 වැනිදා උදේට අපිට කතාකරන්න පුළුවන් වෙයි.
-mawratanews
Previous Post Next Post